ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි මැතිතුමා ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත වේ

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි මැතිතුමා ඉහළ පෙළේ දූත පිරිසක් සමඟ මෙරට සංචාරයක නිරත වේ

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා,  2023 ජූලි 28 සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මැතිතුමා සමඟ අද දින පුළුල් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවති අතර, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී සිදු කළ ප්‍රකාශය පහත දැක්වේ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූලි 29 වැනි දින

.......................................

ජපානයේ ගරු විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා මැතිතුමා මෙරට නිරත වූ නිල සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ගරු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2023 ජූලි 29 වැනි දින කොළඹ දී සිදු කළ මාධ්‍ය ප්‍රකාශය

මාගේ මිත්‍ර හයාෂි මැතිතුමනි,

කොනිචිවා, ආයුබෝවන්! ශ්‍රී ලංකාවට ඔබ සාදරයෙන් පිළිගනිමි.

මාධ්‍ය හිතවතුනි,

නිල සංචාරයක් සඳහා පසුගිය දින ශ්‍රී ලංකාවට පැමිණි අමාත්‍ය හයාෂි යොෂිමසා මැතිතුමා පිළිගැනීමට ලැබීම අප හට ඉමහත් සතුටක් හා ගෞරවයක් ගෙන දෙයි. ගරු හයාෂි මැතිතුමා ජපාන විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසකට නායකත්වය ලබා දෙයි. ශ්‍රී ලංකාව සහ ජපානය ඔවුනොවුන් අතර පවත්නා විශිෂ්ට සබඳතාවල වැදගත්කම මෙම සංචාරව හරහා පෙන්නුම් කෙරේ.

අද උදෑසන ගරු හයාෂි මැතිතුමා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවිය. අද පස්වරුවේ එතුමා ගරු අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවීමට ද නියමිත ය. මීට සුළු මොහොතකට පෙර අමාත්‍ය හයාෂි මැතිතුමා සහ මම පුළුල් පරාසයක කරුණු හා සබැඳි සවිස්තරාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූයෙමි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ගැඹුරින් මුල් බැසගත් මිත්‍රත්වය, මෑතකාලීනව සිදු කළ ඉහළ මට්ටමේ සංචාර හුවමාරු හරහා තවදුරටත් ශක්තිමත් වී ඇත. අතිගරු ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමා පසුගිය කාලය තුළ අවස්ථා දෙකක දී ජපානයේ සංචාරයේ නිරත වූ අතර, එහිදී අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මැතිතුමා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වීමේ අවස්ථාව මෙන්ම ජපාන අධිරාජ්‍යයා හමුවීමේ සුවිශේෂී වරප්‍රසාදය ද හිමි කරගත්තේ ය.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සැමරීම සඳහා 2023 පෙබරවාරි මස මෙරටට පැමිණි ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ මැතිතුමා පිළිගැනීමට ලැබීම ද ඉමහත් සතුටට කරුණකි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවත්නා 70 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා නිමිත්තෙන් පසුගිය වසරේ අප විසින් පවත්වන ලද උත්සව කිහිපයක් පිළිබඳව සිහිපත් කිරීමෙන් අමාත්‍ය හයාෂි මැතිතුමා සහ මම සතුටට පත්වුණෙමි.

මාධ්‍ය හිතවතුනි,

ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන් පසුගිය වසර තුළ ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සහ ලබා දුන් ආධාර ශ්‍රී ලංකාවේ ඉමහත් පැසසුමට ලක් වේ. මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාව වෙත ලබා දුන් නොසැලෙන සහයෝගය සහ ආධාර සඳහා මෙන්ම ජපානය ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ විශ්වාසය පිළිබඳව ද ශ්‍රී ලංකාව ජපානය වෙත සිය කෘතඥතාව පළ කර සිටියි.

ඔබ සියලු දෙනා දන්නා පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදු කළ මෑතකාලීන සාකච්ඡා හරහා සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා මෙන්ම, අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ සාකච්ඡා සඳහා පරිත්‍යාගශීලීන්ගේ වේදිකාවක් සකස් කිරීමට පහසුකම් සැලසීම වෙනුවෙන් ජපානය වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ය.

අද පෙරවරුවේ අතිගරු ජනාධිපතිතුමා සමඟ මෙන්ම අප දෙදෙන පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී, අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියට පවත්වාගෙන යාමට අදාළ වැදගත් මුලපිරීම් ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරන ලදී. ජපානය යනු විශ්වාසදායක හවුල්කරුවෙකු වන බැවින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රමානුකූල ආර්ථික ප්‍රකෘතිමත්භාවය පිළිබඳ පැහැදිලි දර්ශක සහිත බැවින්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ජපන් ආයෝජන ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා සහ මම ජපානයට ආරාධනා කළ අතර, බලශක්තිය, වරාය සහ මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම්, ආයෝජන කලාප මෙන්ම හරිත හා ඩිජිටල් ආර්ථිකය වැනි ක්ෂේත්‍ර කිහිපයකට අදාළව නව ආයෝජන සිදු කරන ලෙස ද ජපානයට ආරාධනා කළෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වෙන ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) හරහා ජපානයේ නිල සංවර්ධන ආධාර ශ්‍රී ලංකාවට ලබා දීම ද මෙහිදී අවධානයට ලක් විය.

අපගේ සමාජයේ අවදානමට ලක්විය හැකි කොට්ඨාශ සඳහා ප්‍රමාණවත් ආධාර ලබා දීම සඳහා වන ක්‍රියාමාර්ග ඇතුළුව ආර්ථික ප්‍රකෘතිමත්භාවය සහ තිරසාර වර්ධනය සඳහා ශ්‍රී ලංකාව ලබා දෙන ඉහළම ප්‍රමුඛතාව, ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් ජපාන දූත පිරිස හමුවේ පැහැදිලි කරන ලදී. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලය බෙදා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මෑතක දී ඉදිරිපත් කළ යෝජනා ඇතුළුව රටේ සෑම ප්‍රදේශයකම සිටින අපගේ සියලුම ජන කොටස් අතර ජාතික සංහිඳියාව සහ එකමුතුකම වැඩි දියුණු කිරීම සඳහා වූ මෑතකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව ද මම අමාත්‍ය හයාෂි මැතිතුමා දැනුම්වත් කළෙමි. ජපානය අපගේ ප්‍රයත්න දිරිමත් කර ඇත.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අපගේ අඛණ්ඩ සාකච්ඡාවලදී, වසංගත තත්ත්වය හමුවේ යථා තත්ත්වයට පත්වීම, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම, ගෝලීය ණය අර්බුදයට සාධාරණ හා සමාන විසඳුමක් සෙවීම, දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සහ පුනර්ජනනීය බලශක්තිය භාවිතයට නැඹුරු වීම සඳහා පහසුකම් සැලසීම සහ න්‍යෂ්ටික අවි භාවිතයෙන් වැළැකීම සහ දැඩි විනාශකාරී තත්ත්වයන් සඳහා ඉවහල් වන ආයුධ නිරායුධකරණය කිරීම වැනි ගෝලීය ආරක්ෂාව ඇතුළු ගෝලීය කරුණු කිහිපයක් පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට නියමිත ය. විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම අපරානුමත කිරීමේ දී ශ්‍රී ලංකාව ගෝලීය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා ලබා දුන් වැදගත් දායකත්වය ජපානයේ පැසසුමට ලක්විය. කලාපීය කරුණු සම්බන්ධව ගත් කල, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය තුළ ශ්‍රී ලංකාව ඉදිරියේ දී හිමිකර ගැනීමට නියමිත සභාපතිත්වය සහ ජාත්‍යන්තර නෛතික රාමුවට අනුව සියලුම රාජ්‍යයන්වල සමෘද්ධිමත්භාවය සඳහා ඉන්දියානු සාගර වටද්දර කලාපයේ සාමය, ආරක්ෂාව, සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අප සතු කැපවීම පිළිබඳව ද අමාත්‍ය හයාෂි මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමට නියමිත ය.

පුද්ගලාන්තර සම්බන්ධතා ආශ්‍රිතව අප අතර පවත්නා සුහද සබඳතා තවදුරටත් ශක්තිමත් වී ඇත. සංචාරක ව්‍යාපාරය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය ආශ්‍රිතව දැනට පවතින සහයෝගීතාව ශක්තිමත් කරන අතරතුර ජපාන ආර්ථිකයට අවශ්‍ය කෙරෙන නිපුණතා සහිත මිනිස් බල අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට මූලාශ්‍රයක් විය හැකි නව අංශ විවෘත කිරීම මෙයට ඇතුළත් වේ. අපේක්ෂා සහගත ආරම්භයක් ලබා ඇති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත්භාවයේ ගමන්මග සහ අනාගත සංවර්ධන අපේක්ෂාවන් සෑම අංශයකින්ම ජපාන-ශ්‍රී ලංකා සබඳතාව වැඩිදියුණු කිරීමට ඉහළ අවස්ථාවන් ලබා දෙන බව අපගේ විශ්වාසය යි.

 ගරු හයාෂි මැතිතුමනි, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම පිළිබඳවත්, ජපානය මාගේ රටට අඛණ්ඩව දක්වන සහයෝගය සහ හොඳ හිත වෙනුවෙන් ඔබටත්, ඔබේ දූත පිරිසටත් නැවත වරක් ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close