ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා CIIE ප්‍රදර්ශනය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා CIIE ප්‍රදර්ශනය අමතයි

මනා සහභාගීත්වයක් නිරීක්ෂණය වූත්, ඉමහත් කීර්තියට පාත්‍ර වූත්, 5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) සහ හොංචියාඕ ආර්ථික සංසදයේ සමාරම්භක උත්සවය ඇමතූ ජනාධිපති ෂී ජින්පිං මැතිතුමාගෙන් පසුව, අතථ්‍ය අයුරින් එම අවස්ථාව ඇමතූ පළමු කථිකයා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ය.ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට අමතරව, මොරිටේනියාව, මොසැම්බික්,බෙලරුසය, ගයානාව සහ සොලමන් දූපත් යන රටවල රාජ්‍ය නායකයන් හෝ රජයේ ප්‍රධානීන් සහ, ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යනාදීන් විසින් මෙම සමාරම්භක උත්සවය අමතන ලදී.

උප අග්‍රාමාත්‍ය හූ චුන්ගුවා මැතිතුමා ආරම්භක සැසිය මෙහෙයවී ය. ලී කෙකියෑන්ග් මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වන නව ස්ථාවර කමිටු සාමාජික ලී චියෑං මැතිතුමා මෙම සැසිය අවසන් කළේ ය. ඔවුහු දෙපළ මෙම සමාරම්භක උත්සවයට පුද්ගලික වශයෙන් සහභාගී වූහ.

චීනය අඛණ්ඩව විදහා දක්වන ඉහළ මට්ටමේ විවෘතභාවය සහ බහුපාර්ශ්විකත්වය සම්බන්ධයෙන් පෙන්වන ස්ථිර කැපවීම, ජනාධිපති ෂී මැතිතුමා විසින් අවධාරණය කරන ලදී. හවුල් අනාගතයක් නිර්මාණය කිරීම සහ මනුෂ්‍යත්වයට අදාළව පොදු සමෘද්ධිමත්භාවයක් ළඟා කරගැනීම සම්බන්ධයෙන් තමන් සතු දැක්ම ද එතුමා විසින් අවධාරණය කරන ලදී. එබැවින්, ද්විත්ත්ව සංසරණ ආර්ථිකයක් තුළ චීනය විසින් උසස් තත්ත්වයේ සංවර්ධනයක් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

චීනයේ අපනයන ආශ්‍රිත වර්ධනය, මෙහිදී සිය අදහස් පළ කළ කථිකයන්ගේ අවධානයට ලක්විය. ඉදිරි වසර කිහිපය තුළ චීනය ඩොලර් ට්‍රිලියන දහයක වටිනාකමකින් යුක්ත භාණ්ඩ ආනයනය කරනු ඇති අතර, එමඟින් සියලු රටවල් සඳහා විශාල අවස්ථාවන් නිර්මාණය වනු ඇත. චීනය, වර්තමානය වන විට පවා, ලෝකයේ විශාලතම භාණ්ඩ අපනයනකරු වේ. තවද එය දෙවැනි විශාලතම භාණ්ඩ හා සේවා ආනයනකරු ද වේ.

මෙහිදී චීනයේ වැදගත්කම පිළිබඳව සිය අදහස් පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා, චීනය ‍ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වැදගත් වන ගමනාන්තයක් ලෙසත්, ආනයන කටයුතු සඳහා වැදගත් වන ප්‍රධානතම මූලාශ්‍රය ලෙසත්, ස්ථිර ඍජු ආයෝජන සහ සංචාරකයන් සඳහා සුවිශේෂී වූ ප්‍රභවයක් ලෙසත් අවධාරණය කළේ ය.

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම උත්සවය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 නොවැම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close