ජනපති ගේ ඉල්ලීමට ජපානයෙන් ලැබුණ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයේ පළමු කොටස පෙරේදා ශ්‍රී ලංකාවට

 ජනපති ගේ ඉල්ලීමට ජපානයෙන් ලැබුණ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයේ පළමු කොටස පෙරේදා ශ්‍රී ලංකාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමකට අනුව ජපන් රජය ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.4 කට වැඩි ප්‍රමාණයක් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීම පිළිබඳව ජපාන රජයට හා එරට ජනතාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන්  කෘතඥතාව පළ කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කළේය. ඉකුත් සෙනසුරාදා (31/07) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොස් ජපානය පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයේ පළමු කොටස (700,000 වැඩි ප්‍රමාණයක්) භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ගුණවර්ධන මැතිතුමා මේ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අගමැතිවරයාට ලිපියක් යොමු කරමින්, ශ්‍රී ලාංකීය ජනතාව කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී. මෙම ඉල්ලීමට අනුව, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ මග පෙන්වීම මත ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මැතිතුමා මෙන්ම, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මැතිතුමා සමග එක්ව යුනිසෙෆ් සංවිධානය සහ ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම පරිත්‍යාගය ලබා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කර තිබේ. ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ද මේ සඳහා සහාය වී ඇත. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන සිටි මෙරට 490,000ක් ජනතාවට එහි දෙවන මාත්‍රාව ලබා දීම සඳහා මෙම එන්නත් තොගය ප්‍රමුඛව යොදා ගනු ඇති බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා පැවසීය.

ඉකුත් සෙනසුරාදා පස්වරුවේ ජපානයේ නරිටා ගුවන් තොටුපලේ සිට ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 455 ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට රැගෙන එනු ලැබු මෙම එන්නත් තොගය බාර ගැනීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මැතිතුමා, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චී මැතිනිය, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, යුනිසෙෆ් සංවිධානයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 අගෝස්තු 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close