චීන ආයෝජන ව්‍යාපෘති කඩිනම් කිරිමට පියවර

චීන ආයෝජන ව්‍යාපෘති කඩිනම් කිරිමට පියවර

දරිද්‍රතාවය පිටු දැකීම සහ ජනතාවගේ ජීවනෝපායන් නංවාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, දැනට ක්‍රියාත්මකව පවතින සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව හා චීනය ඉකුත්දා එකඟ විය. චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයේ 11 වන සැසියේ දී මෙම එකඟතාව පළවිය. විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා හා චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලුවෝ ජාවෝහුයි මහතා මෙම සැසියේ මුලසුන දැරීය. ඉකුත් 23 දා පැවැති මෙම සැසිවාරයේදී දෙරෙටේ වෙළඳාම හා ආයෝජන ඉහළ නැංවීම සඳහාද එකඟතා පළ විය. ශ්‍රී ලංකාව සහ චීනය අතර උපායමාර්ගික සහයෝගී හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම පිණිස අන්‍යෝන්‍ය සහයෝගීතාව සඳහා නව මංපෙත් දෙපාර්ශ්වය විසින්ම මෙම සැසිවාරයේදී හඳුනා ගැනුණි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර දැනට පවත්නා බහුවිධ හවුල්කාරිත්වය පිළිබඳව තෘප්තිය පළ කරන අතරම, ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කිරීම, කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීම, ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් වීමේ ප්‍රයත්න, පුද්ගලාන්තර හුවමාරුව සහ ජාත්‍යන්තර හා කලාපීය කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාවය පිළිබඳව දෙපාර්ශ්වයම මෙම සැසියේදී පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීය.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ චීන තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශ දෙකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අන්තර්ජාල රැස්වීමට එක් වූහ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 නොවැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close