කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති මාටින් ටී. කෙලි මහතා හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති මාටින් ටී. කෙලි මහතා හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා ප්‍රයෝජනවත් නොවන, කොන්ග්‍රස් සභික ඩෙබොරා රොස් විසින් ඉදිරිපත් කරන ලද   අංක H.Res.413 යෝජනාව ඉල්ලා අස්කර ගැනීම හෝ සංශෝධනය කිරීම සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (08) කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති මාටින් ටී. කෙලි මහතා හමුවේ ප්‍රකාශ කෙළේය. මාටින් කෙලි මහතා ඊයේ විදේශ අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දුන් සහයෝගයට විදේශ අමාත්‍යවරයා එරට රජයට සහ එක්සත් ජනපද ජනතාවට ස්තූතිය පුද කළේය. COVAX වැඩසටහන හරහා COVID-19 එන්නත් ලබා ගන්නා රටවලින් එකක් ශ්‍රී ලංකාව බවට එක්සත් ජනපද ජනාධිපති මෑතකදී කළ නිවේදනය මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ ඇගැයුමට ලක් විය.  2021 ජූනි 04 වන දින පැමිණි USIAD හදිසි වෛද්‍ය සැපයුම් තොගය සහ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් නැව ගිනි ගැනීමෙන් සිදුවීමට තිබු දැඩි පාරිසරික හානිය අවම කිරීම සඳහා එක්සත් ජනපදයේ සහාය ලබා දීමට ඉදිරිපත් වීම පිළිබඳව ද අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.

මෙම රැස්වීමට එක්වෙමින් විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ විසින් COVID-19 වසංගතය පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන් සහ දැනට පවතින එන්නත් කිරීමේ වැඩසටහනේ තත්ත්වය පිළිබඳව විස්තර කළේය.

හවුල්කාරිත්ව සංවාදය කැඳවීම සහ වෙළඳ හා ආයෝජන රාමුගත ගිවිසුම් ඒකාබද්ධ කොමිසම ඇතුළු පුළුල් පරාසයක කරුණු මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට බදුන් විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූනි මස 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close