කෙන්යාවෙන් ශ්‍රි ලංකාවට සිරින්ජ මිලියන දෙකක්

කෙන්යාවෙන් ශ්‍රි ලංකාවට සිරින්ජ මිලියන දෙකක්

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩව සිදු කෙරෙන කඩිනම් එන්නත් කිරීමේ ව්‍යාපාරයට සහයෝගය දක්වමින්, කෙන්යාවේ පිහිටි රෙවිටල් හෙල්ත්කෙයාර් (EPZ) ලිමිටඩ් වෙතින් ඇනවුම් කරන ලද සිරින්ජ මිලියන 2 ක මුල් තොගය ලංකාවට යැවීමසඳහා කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් කටයුතු සලසන ලදී. රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම මිලි ලීටර් 0.5 පිරිවිතරයන් සහිත ස්වයංක්‍රීයව නිෂ්ක්‍රය වන (AD) සිරින්ජ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති හා කොන්දේසිවලට අනුකූල උසස් තත්ත්වයේ ඒවා ලෙස සැලකේ.

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙයි කනනාදන් මැතිතුමා මෙම සිරින්ජ 800,000 ක පළමු තොගය භාරගෙන, 2021 අගෝස්තු 13 වැනි දින ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් එය ශ්‍රී ලංකාවට එවීම සඳහා පහසුකම් සැලසීය. කෙන්යාවේ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නියෝජිත රුවන් ප්‍රනාන්දු මහතා සහ ව්‍යාපාරික ඉර්ෆාන් මොහොමඩ් මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. නයිරෝබි ගුවන් තොටුපලේ දී පැවති කෙටි උත්සවයක දී කෙන්යාවේ රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොනික් වෝරා මහතා, කෙන්යාවේ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කොට මෙම සිරින්ජ තොගය කඩිනමින් යැවීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳව මහ කොමසාරිස් කනනාදන් මැතිතුමාට ස්තූති කළේය. ඉතිරි සිරින්ජ තොගය ලබන සතියේ දී එවනු ඇත.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන එන්නත් කිරීමේ වැඩසටහනට සහාය වීම සඳහා කෙන්යාවේ නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 ආශ්‍රිත අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවට එවන ලද පළමු අවස්ථාව මෙයවේ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නයිරෝබි

2021 අගෝස්තු 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close