කුවේට්හි මානුෂීය සහ මිත්‍රත්ව සංසදය ඩොලර් 10,000ක් වටිනා වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

 කුවේට්හි මානුෂීය සහ මිත්‍රත්ව සංසදය ඩොලර් 10,000ක් වටිනා වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරයි

කුවේට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව කුවේටයේ මානුෂීය හා මිත්‍රත්ව සංසදය (KHFS) මඟින් ජීවිතාරක්ෂක වෛද්‍ය උපකරණ සහ ද්‍රව්‍ය සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයට උපකාර කිරීමේ අරමුණින් ඇමරිකානු ඩොලර් 10,000 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාව  වෙත පරිත්‍යාග කර ඇත.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති යූ.එල්. මොහොමඩ් ජවුහාර් මහතා, කුවේටයේ මානුෂීය හා මිත්‍රත්ව සංසදයේ සභාපති අහමඩ් අබ්දුල්ලා අල්සරාෆ් මහතා සමඟ පැවති හමුවක දී ශ්‍රී ලංකාවාසී ජනතාව උදෙසා ඔවුන් විසින් සිදු කරන ලද මෙම නොමසුරු පරිත්‍යාගය වෙනුවෙන් සිය නොමඳ කෘතඥතාව පළ කළේය. ජීවිතාරක්ෂක ඖෂධ සහ අනෙකුත් උපකරණ ඇතුළත් වූ මෙම වෛද්‍ය ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් නොමිලේ මෙරටට ගෙන්වන ලදි. තානාපති කාර්යාලය විසින් ඔවුන් වෙත කරන ලද ඉල්ලීමකට අනුව කුවේටයේ මානුෂීය සහ මිත්‍රත්ව සංසදය මෙවැනි පරිත්‍යාගයක් කුවේට්හි දේශසීමාවෙන් පිටත රාජ්‍යයක් වෙත ලබා  දීමට තීරණය කළ පළමු අවස්ථාව මෙයයි.

කුවේටයේ මානුෂීය සහ මිත්‍රත්ව සංසදය විසින් කුවේට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට ගුවන් ගමන් ගාස්තු, වියළි සලාක සැපයීම සහ පාසල් ගාස්තු ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් 81,000 කට අධික පිරිවැයක් ආවරණය කරමින් ආධාර සපයනු ලබයි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

කුවේට්

2022 ජූලි 0​6 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close