කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය නිර්මාණාත්මක ආර්ථික වැඩසටහන දියත් කරයි

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය නිර්මාණාත්මක ආර්ථික වැඩසටහන දියත් කරයි

රටේ ආර්ථිකයට දායක වීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය “නිර්මාණශීලී ආර්ථික වැඩසටහනක්” දියත් කර තිබේ. ගෝලීය ආර්ථිකයේ වේගයෙන් ව්‍යාප්ත වන අංශයක් වන ‘නිර්මාණාත්මක ආර්ථිකය’ මඟින් රැකියා, ආදායම් සහ අපනයන උත්පාදනය සඳහා තීරණාත්මක දායකත්වයක් ලබා දී ඇත. නිර්මාණශීලිත්වය මත පදනම්ව, එය සියලු කලාත්මක, නවෝත්පාදන හා සංස්කෘතික නිෂ්පාදන සහ සේවාවන් ආවරණය කරයි. තිරසාර සංවර්ධනය සඳහා ද එය හිතකර වේ.

ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා කලාපීය සහයෝගීතාවය තුළින් ලබා දිය හැකි දායකත්වය හඳුනා ගනිමින්, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසුරිය මැතිතුමා, “නිර්මාණශීලී ආර්ථික වැඩසටහන” යටතේ ඉන්දුනීසියාව සමඟ සමාරම්භක වැඩසටහන් දෙකක් දියත් කළේය. මෙම වැඩසටහන් මගින් ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය සංවර්ධනය කිරීම සහ රටේ සුවිශේෂී වාස්තු විද්‍යාත්මක උරුමය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.

බතික්, රෙදිපිළි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන අමාත්‍යාංශය, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, පුද්ගලික අංශයේ බතික් නිෂ්පාදකයින් සහ ඉන්දුනීසියාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හා සමුපකාර අමාත්‍යාංශයේ SMESCO ආයතනය සමඟ එක්ව මෙම ශ්‍රී ලංකා බතික් කර්මාන්තය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, කර්මාන්තය වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම සඳහා නව ක්‍රමවේදයන් හඳුන්වාදීම සහ ශ්‍රී ලංකාවේ බතික් නිෂ්පාදන විදේශයන්හි ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියානු විශේෂඥ දැනුම ලබා ගැනීමයි. විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන් සඳහා රැකියා උත්පාදනය කිරීම සහ අපනයන අංශයට දායක වීම පිණිස මෙම මුලාරම්භය ඉවහල් වනු ඇත.

දෙවැනි කටයුත්ත මඟින් ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාත්මක උරුමය විදේශයන්හි ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරයි. මේ සම්බන්ධයෙන්, ජෙෆ්රි බාවා මහතාගේ සුප්‍රසිද්ධ කෘති සහ ඔහුගේ “නිවර්තන නූතනවාදය” ශෛලිය ඇතුළුව රටේ ගෘහ නිර්මාණ ශිල්පය අධ්‍යයනය කිරීම සඳහා ඉන්දුනීසියාවේ ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පීන් කිහිප දෙනෙකුගේ සංචාරයක් සැලසුම් කර තිබේ. මෙම මුලපිරීම මඟින් සංස්කෘතික සහයෝගීතාව ඉහළ නංවන අතරම, දෙරටේ ගෘහ නිර්මාණ ශිල්පීය ගණ අතර සබඳතා ගොඩනඟා ගැනීමටත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත් උත්සාහ දරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර මෙම මුල පිරීම් දෙක පිළිබඳ අතථ්‍ය සාකච්ඡා පසුගිය සතියේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ඉන්දුනීසියාවේ SMESCO ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙනාඩ් තියෝසොබ්‍රාටා මහතා මෙන්ම ප්‍රමුඛ ඉන්දුනීසියානු ගෘහ නිර්මාණ ශිල්පීන් ද සහභාගී වූහ. කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසුරිය මැතිතුමා, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති යසෝජා ගුණසේකර මහත්මිය, කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය සහ බතික් හා ගෘහ නිර්මාණ ක්ෂේත්‍රවල නියෝජිතයින් ද මෙම රැස්වීම සඳහා සහභාගී වූහ.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශය
කොළඹ

2021 මැයි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close