කර්මාන්ත අමාත්‍යවරයාගේ ඉන්දුනීසියාවේ නිල සංචාරය

කර්මාන්ත අමාත්‍යවරයාගේ ඉන්දුනීසියාවේ නිල සංචාරය

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා 2021 නොවැම්බර් මස 10-11 දිනවල ජකර්තා හි පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ 02 වන කලාපීය සමුළුවට (RCID) සහභාගී වීම සඳහා ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත විය.

මෙම සමුළුවේ දී අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ අත්දැකීම් පාදක කර ගනිමින් “කොවිඩ්-19 වසංගතයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කර්මාන්ත 4.0” යන තේමාව යටතේ විශේෂ දේශනයක් ඉදිරිපත් කළේය.

සමුළුවට සමගාමීව අමාත්‍ය වීරවංශ මැතිතුමා ඉන්දුනීසියානු ජනරජයේ කර්මාන්ත අමාත්‍ය අගූස් ගුමිවං කර්තසාමිස්තා මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර දෙරට අතර කාර්මික අංශයේ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළේය. 2022 වර්ෂයේ ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාර්මික ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස අමාත්‍ය වීරවංශ මහතා ඉන්දුනීසියානු අමාත්‍ය කර්තසාමිස්තා මැතිතුමාට ආරාධනා කළේය.

මීට අමතර ව අමාත්‍ය වීරවංශ මැතිතුමා RCID සමුළුවට සමගාමීව බංග්ලාදේශයේ කර්මාන්ත අමාත්‍ය නියුරූල් මජීද් මහ්මූද් හුමායුන් මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පැවැත්වූ අතර කර්මාන්ත අංශයේ දෙරට අතර සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළේය.

කර්මාන්ත අමාත්‍යවරයා සමඟ කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති) එම්. ජී .පී. නිමල් මහේෂ්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක සහ ජකර්තා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් දිලිනි ජයවර්ධන යන මහත්ම මහත්මීන් ද මෙම සංචාරයට එක්විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

නොවැම්බර් මස 16 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close