කර්මාන්තශාලා කළමනාකරුවෙකු වශයෙන් සේවය කළ ශ්‍රී ලාංකික ජාතික ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 6 දෙනෙකුට පාකිස්තානයේ ත්‍රස්ත මර්දන අධිකරණය මරණ දඬුවම නියම කරයි

කර්මාන්තශාලා කළමනාකරුවෙකු වශයෙන් සේවය කළ ශ්‍රී ලාංකික ජාතික ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 6 දෙනෙකුට පාකිස්තානයේ ත්‍රස්ත මර්දන අධිකරණය මරණ දඬුවම නියම කරයි

පාකිස්තානයේ  සියල්කොට් හි පෞද්ගලික කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකික ජාතික ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ ගුජ්රන්වාලා හි පිහිටි ත්‍රස්ත මර්දන අධිකරණය (ATC) 2022 අප්‍රේල් 18 වැනි දින විත්තිකරුවන් හය දෙනෙකුට මරණ දණ්ඩනය නියම කරමින් ලබා දුන් තීන්දුව විදේශ කටයුතු අමාත්‍යාංශය පිළිගනී.

අපහාස කළ බවට චෝදනා කරමින් හතළිස්  නව හැවිරිදි ප්‍රියන්ත කුමාර දියවඩනගේ නමැත්තා 2021 දෙසැම්බර් 03 වැනි දින ඉතා ආන්දෝලනාත්මක තත්ත්වයක් යටතේ මැර පිරිසක් විසින් පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර ගිනිබත් කරන ලදී. මෙම සිදුවීම ජාතීන් දෙක කම්පනයට පත් කළ අතර වැරදිකරුවන් නීතියේ රැහැනට හසු කර යුක්තිය ඉටු කරන බවට පාකිස්තානයේ නායකත්වය ශ්‍රී ලංකාවට සහතික විය.

මෙම ඝාතන නඩුවේ විත්තිකරුවන් 88 දෙනෙකුට අධිචෝදනා ගොනු කර තිබිණි. ත්‍රස්ත මර්දන අධිකරණය  වරදකරුවන් 9 දෙනෙකුට දඩ මුදල් ගෙවා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ අතර වරදකරුවන් 72 දෙනෙකුට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි. තවත් වැරදිකරුවෙකුට වසර පහක සිර දඬුවමක් නියම විය.

අභාවප්‍රාප්ත ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ පවුල වෙත විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් 2021 දෙසැම්බර් 15 වැනි දින විදේශ අමාත්‍යාංශයේදී මූල්‍ය ප්‍රදානයක් පිරිනමන ලදී.

සේවායෝජකයාගෙන් සහ පාකිස්තාන රජයෙන් හිමි වන මූල්‍ය ප්‍රතිලාභ නියමිත වේලාවට ලැබීමට වගබලා ගන්නා ලෙස තමා පකිස්තාන රජයෙන් ඉල්ලා සිටි බව අමාත්‍ය පීරිස් මැතිතුමා මෙම උත්සවයේදී ප්‍රකාශ කළේ ය. සියල්කොට් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව  ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ පවුල වෙත ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දී ඇති අතර එතුමා සේවය කළ සමාගම එතුමාගේ පවුල වෙත වැටුප් ලබා දෙයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2022 අප්‍රේල් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close