ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පරිත්‍යාග කරන ලද ටොන් දෙකක වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාව වෙත එවයි

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් පරිත්‍යාග කරන ලද ටොන් දෙකක වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාව වෙත එවයි

මෙල්බර්න්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2021 ජුනි 09 සිට අගෝස්තු 07 දක්වා මෙල්බර්න් සිට කොළඹ දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ඍජු ගුවන් ගමන් මගින් තොග 9 කින් සමන්විත ටොන් දෙකක වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධීකරණය කළේය. මෙම උපකරණ වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ බටහිර ඕස්ට්‍රේලියාව ප්‍රාන්තවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සංගම් සහ හිතවතුන් විසින් පරිත්‍යාග කරන ලදී.

මෙසේ පරිත්‍යාග කරන ලද සමහර දිවි ගලවා ගන්නා උපකරණ අතර, නාසයෙන් ලබාදෙන අධි ධාරා ඔක්සිජන් යන්ත්‍ර, ඔක්සිජන් සාන්ද්‍රක, ස්පන්දන ඔක්සිමීටර, බීඅයිඒපී යන්ත්‍ර, සීපීඒපී යන්ත්‍ර, ඉන්ෆියුෂන් පොම්ප, ඩයලිසිස් යන්ත්‍ර, නාසික කැනියුලා ඔක්සිජන් ලබා දීමේ මුහුණු ආවරණ, ඔක්සිජන් මුහුණු ආවරණ සහ රුධිර පීඩන මොනිටර යනාදිය වේ. මෙම භාණ්ඩ තොග රැගෙන ඒම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සහනදායී මිලකට ගුවන් ප්‍රවාහන සේවා ලබා දුන් අතර, එම උපකරණ නිෂ්කාශනය කොට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම සඳහා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය විසින් පහසුකම් සලසා දෙන ලදී.

මෙම ඉතා දුෂ්කර කාලසීමාවේ දී, ශ්‍රී ලංකාවේ වටිනා ජීවිත බේරා ගැනීම සඳහා කාලීනව සිදු කරන ලද මෙම පරිත්‍යාග ලබා දීමේ උදාර කටයුත්ත වෙනුවෙන් මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සියළුම සංගම් සහ හිතවතුන් වෙත සිය ප්‍රශංසාව පළ කරයි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මෙල්බර්න්

2021 අගෝස්තු 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close