ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි ප්‍රතිකාර ඒකක ඇඳන් පරිත්‍යාග කිරීමට කටයුතු සලසයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි ප්‍රතිකාර ඒකක ඇඳන් පරිත්‍යාග කිරීමට කටයුතු සලසයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් කළ ආයාචනයකට අනුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, බැංකු ක්ෂේත්‍රයේ නියුතු ශ්‍රී ලාංකික වෘත්තිකයන් සහ ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂණ සහෝදරත්වය විසින් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි ප්‍රතිකාර ඒකක ඇඳන් පහක් පරිත්‍යාග කෙරිණි.

මෙම දැඩි ප්‍රතිකාර ඇඳන් පහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ. රත්නායක මහතා වෙත භාර දෙන ලදි. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි රජයේ රෝහල් පහකට එනම් පදවිය, නුවරඑළිය, මහියංගනය, මඩකලපුව සහ මුලතිව් යන මූලික රෝහල්වලට මෙම දැඩි ප්‍රතිකාර ඒකක ඇඳන් බෙදාදීමට නියමිතය.

වසංගතය හේතුවෙන් උදා වී ඇති අසීරු අවස්ථාව හමුවේ උපකාර අවශ්‍යම මොහොතක තම මව්බිමේ පුරවැසියන් වෙනුවෙන් උදාර සේවයක් ඉටු කළ ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තීය ප්‍රජාව වෙත තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා සිය අවංක ස්තූතිය පුද කළේය. බැංකු ක්ෂේත්‍රයේ නියුතු ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගෙන් මෙන්ම ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂණ සහෝදරත්වයෙන් ලද පරිත්‍යාග සම්බන්ධීකරණය කිරීම සඳහා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ මහ බැංකුවේ සේවය කරන ලලිත් කුමාර මහතා සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂණ සහෝදරත්වයේ සභාපති රවීන්ද්‍ර ගල්ලන්ගොඩ මහතා වෙත තානාපතිවරයා සිය විශේෂ ස්තූතිය පුද කළේය. මෙම කටයුත්තට අදාළව, තානාපති කාර්යාලයට සහයෝගය ලබා දුන් ඕමානයේ ශ්‍රී ලංකා ප්‍රජා සමාජයට ද තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කළේ ය.මෙම පරිත්‍යාගය භාරදීමේ උත්සවය 2021 ඔක්තෝබර් 4 වැනි දින කොළඹ විදේශ අමාත්‍යංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2021 ඔක්තෝබර් 12වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close