ඕමානයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිස සිය ඵලදායී ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව අවසන් කරයි

ඕමානයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිස සිය ඵලදායී ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව අවසන් කරයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මාර්තු 5-9 යන දිනවල සංවිධානය කළ, ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ(OCCI) සාමාජිකයන් 17දෙනෙකුගෙන් යුත් ඉහළපෙළේ ඕමාන ව්‍යාපාරික දූත පිරිසෙ හි ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය, සාර්ථකව නිම කෙරිණි. ඕමානයේ සමස්ත පුද්ගලික අංශයේ එකම නියෝජිතයා සහ ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති හා ඉංජිනේරු රේධා බින්ජුමාඅල්සාලේ මහතා, මෙම ඉහළපෙළේ ව්‍යාපාරික දූත පිරිස සඳහා නායකත්වය ලබා දුන්නේ ය. ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මෙම දූත පිරිස පිළිගත්අතර, අනතුරුව ඔවුන් සමඟ සංචාරයේ නිරත විය.

ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවතින අවස්ථා ගවේෂණය කිරීම සහ දෙරටේ පුද්ගලික අංශ අතර ව්‍යාපාරික සබඳතා නිර්මාණය කිරීම, මෙම  සංචාරයේ අරමුණු විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී සිය සංචාරය අතරතුරදී ලබාගත් ප්‍රගතිය පිළිබඳව එතුමා දැනුවත් කළ දූත පිරිස, ශ්‍රී ලංකාව සමඟ සමීප ආර්ථික සබඳතාවක් පැවැත්වීම සඳහා තමන් තුළ ඇති දැඩි කැමැත්ත පළ  කළහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමා සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද මෙම හමුවට සහභාගී වූහ.

දූත පිරිස මෙම සංචාරය අතරතුරදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා, විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මැතිතුමා මෙන්ම කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සමඟද ඵලදායී සාකච්ඡා පැවැත්වීය. වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී  සාකච්ඡා පැවැත්විණි. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ෂෙයික්ජුමාහම්දාන්අල්ෂෙහි මැතිතුමා ද මෙම හමුවලට සහභාගීවිය.

ඕමානයේ මිනිස්බල රැකියා සඳහා බඳවාගැනීමේ නියෝජිතායතන නියෝජනය කළ ඕමාන නියෝජිත පිරිසේ සාමාජිකයන් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සභාපතිවරයා හමුවී ඕමානයේ ශ්‍රී ලාංකික ශ්‍රම බඳවාගැනීම් හා සබැඳි  ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර,රජයේ නියාමන වැඩපිළිවෙළ යටතේ රැකියා අවස්ථා වැඩිකිරීමට ද එකඟ විය.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) සංචාරක ඕමාන නියෝජිත පිරිස සහ ඔවුන්ගේ ශ්‍රී ලංකා මිත්‍ර පාර්ශ්වය අතර කොළඹ වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී සංවිධානය කළ ව්‍යාපාරාන්තර (B2B)රැස්වීමෙන් අනතුරුව පැවති ව්‍යාපාරික සංසදය,මෙම සංචාරයේ සුවිශේෂී අවස්ථා අතරින් එක් අවස්ථාවක් විය. මෙම ව්‍යාපාරාන්තර රැස්වීම් සඳහා ශ්‍රී ලංකාවේ සමාගම් විශාල ප්‍රමාණයක් සහභාගී විය. තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, NCCSL හි සභාපති නන්දික බුද්ධිපාල මහතා, OCCIහි සභාපති රේධා අල් සාලේ මහතා යනාදීහු මෙම ව්‍යාපාරික සංසදය ඇමතූ හ. මෙම සංසදයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නියෝජනය කරමින් සිදු කළ ඉදිරිපත්කිරීම් විදහා දැක්වුණු අතර, එමගින් ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා ඉස්මතු කෙරිණි. දෙරට අතර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, පසුගිය වසරේ ජූලි මස දෙරටේ වාණිජ මණ්ඩල දෙක අතර අතථ්‍ය අයුරින් අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම සඳහා NCCSL සහ OCCI හි සභාපතිවරුන් විසින් පුද්ගලික වශයෙන් අත්සන් තබන ලදි. ඕමාන සුල්තාන්  රාජ්‍යය තුළ සිද්ධාලේප ආයුර්වේද නිෂ්පාදන සහ සේවා හඳුන්වා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආයුර්වේද සමාගමක්වන සිද්ධාලේප (පුද්.) සමාගම සහ ඕමානයේ ලාමා ක්ලිනික් (පුද්) සමාගම අතරඅභිප්‍රායලිපියක් සඳහා අත්සන් තබන ලදි.

ඕමාන ව්‍යාපාරික නියෝජිත පිරිස ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව (STC) සමඟ ඵලදායී හමුවක් පැවැත්වූ අතර,ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සහ ඕමානයේ පුද්ගලික අංශය අතර වෙළඳ කටයුතු සිදු කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා කළහ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ විවිධ ආයෝජන අවස්ථා පිළිබඳව ඕමාන ව්‍යාපාරික නියෝජිත පිරිස දැනුවත් කෙරුණු අතර,දෙරට අතර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහන් සංවිධානය කිරීමට මෙහිදී යෝජනා කෙරිණි. කටුනායක අපනයන සැකසුම් කලාපය සඳහා වූ ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයා ,ඕමානයේ ව්‍යාපාරික නියෝජිත පිරිස  හමුවේ ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ මෙහෙයුම් සහ ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පවතින අවස්ථා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.

ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සඳහා වන සංගමයේ (SLASSCOM) සභාපතිවරයා හමුවූ ඕමානයේ ව්‍යාපාරික දූත පිරිස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය යන අංශවල සහයෝගීතාව සඳහා පවත්නා අවස්ථා පිළිබඳව ගවේෂණය කළහ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟද සිය අදහස් හුවමාරුකරගත් දූත පිරිස, දෙරට අතර ව්‍යාපාර කටයුතු සිදු කිරීම පිළිබඳ තොරතුරු හුවමාරු කරගත්හ. මෙම  දූත පිරිස පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ නියෝජිතයන්ද හමුවිය.

මෙම සංචාරයේදී ඕමාන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සන්නාම දරන සමාගම්වන අක්බාර් බ්‍රදර්ස් තේ ඇසුරුම් මධ්‍යස්ථානය, ස්මැක් ෆුඩ් ප්‍රොසෙසින් කම්හල, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඉසබෙලා ඇඟලුම් කම්හල සහ දෙහිවල - ගල්කිස්ස පිහිටි සිද්ධාලේප ආයුර්වේද රෝහල තුළ ක්ෂේත්‍ර  චාරිකාවක නිරතවි ය. ඔවුහු,  මුහුද ගොඩ කර ඉදිකරන  ලද ශ්‍රී ලංකාවේ නව විශේෂ ආර්ථික කලාපය වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළද සංචාරයක නිරත වූහ.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ශ්‍රී ලංකාවේ වෝටර්ස්එජ් හෝටලයේ දී OCCI  හි ඉහළපෙළේ නියෝජිත පිරිස වෙනුවෙන් නිල රාත්‍රීභෝජන සංග්‍රහයක් පැවැත්වීය.

OCCI අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ සේවා සහ තොරතුරු තාක්ෂණ කමිටුවේ සභාපති අලිහම්දාන්අල්අජ්මි මැතිතුමා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ දකුණු දිග ඒෂාර්කියා ආණ්ඩුකාර බල ප්‍රදේශයේ සභාපති අන්වර්හමේඩ් සයිඩ් අල්සිනානි මැතිතුමා, ඕමානයේ ප්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ සමාගම්වල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන්, ඛලීඩ් මොහමඩ් සලීම් අල්සයීඩ් මැතිතුමා මෙන්ම ඉදිකිරීම්, උපදේශන, වෛද්‍යසේවා, ආහාර සැපයුම්, ප්‍රචාරණ සේවා, වෛද්‍ය උපකරණ නිෂ්පාදනය, පළතුරු සහ එළවළු, ආහාර සැපයුම්, ඇඟලුම්, ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය,ඉලෙක්ට්‍රොනික උපකරණ, මිනිස් බල සැපයුම, සම්මන්ත්‍රණ කළමනාකරණය ආදිය ඇතුළු විවිධ අංශවල නියුතු ඕමානයේ ප්‍රමුඛ පෙළේ  පුද්ගලික අංශයේ සමාගම්වල සභාපතිවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් යනාදීහු මෙම දූත පිරිසට ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු  අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ කලාපීය සහයෝගිතා අමාත්‍යාංශය, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව, මෙම ඕමාන ව්‍යාපාරික දූත පිරිසෙ හි ඉහළ පෙළේ සංචාරය සම්බන්ධීකරණය  කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මස්කට්

2022 මාර්තු 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close