එස්තෝනියානු ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අක්තපත්‍ර ලිපිය භාර ගනී

එස්තෝනියානු ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අක්තපත්‍ර ලිපිය භාර ගනී

එස්තෝනියා ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් දර්ශන එම් පෙරේරා මහතා පත් කරමින් පිරිනැමූ අක්ත පත්‍ර ලිපිය 2021 දෙසැම්බර් මස 14 වන දින එස්තෝනියාවේ ටැලින් අගනගරයේ පිහිටි ‘කද්‍රියෝග්’ ජනාධිපති මන්දිරයේ දී එස්තෝනියානු ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් එස්තෝනියාවේ දී ලද පිළිගැනීමෙන් අනතුරු ව දර්ශන පෙරේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුබපැතුම් පණිවුඩ පළකළ අතර පසුගියදා ජනාධිපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් එස්තෝනියානු ජනාධිපතිවරයා වෙත සිය ශුභාශිංසන ද පිරිනැමුවේ ය. ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සුබපැතුම් පිරිනැමූ අතර තානාපතිවරයාගේ ශුභාශිංසන වෙනුවෙන් සිය කෘතඥපූර්වක ස්තුතිය ද පළ කළේය.

මෙම අවස්ථාවේ දී තානාපතිවරයා වෙනුවෙන් ‘කද්‍රියෝග්’ උද්‍යාන පරිශ්‍රයේ දී ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදි. එස්තෝනියානු හමුදා වාද්‍ය වෘන්දය විසින් දෙරටේ ජාතික කොඩි එසවීම මධ්‍යයේ ශ්‍රී ලංකාවේ සහ එස්තෝනියාවේ ජාතික ගීත වාදනය කරන ලදි.

අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවෙන් අනතුරුව එස්තෝනියානු ජනාධිපති අලාර් කාරිස් මැතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම වසරට යෙදී තිබූ දෙරට අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 25 වැනි සාංවත්සරික සැමරුම් උත්සවය පිළිබඳව සිහිපත් කෙරිණි. විශේෂයෙන් ම දේශපාලන සබඳතා සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය, සංචාරක සහ භාණ්ඩ වෙළඳාම මෙන් ම ව්‍යාපාරික අන්තර්ක්‍රියා පුළුල් කිරීම වැනි ආර්ථික ක්ෂේත්‍රවලට අදාළව එස්තෝනියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව අදහස් මෙම හමුව අතරතුර දී හුවමාරු කර ගනු ලැබිණි. තානාපතිවරයාගේ මෙම හමුව අතරතුර දී එරට ආර්ථික හා සංවර්ධන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම්, සන්ධාන ප්‍රධානී සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (ආසියාව සහ පැසිෆික්), විද්‍යුත්-රාජ්‍ය පාලන ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරී සහ එස්තෝනියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් යන මහත්වරුන් විසින් මෙම ක්ෂේත්‍ර පිළිබඳව තවදුරටත් විස්තරාත්මකව ගවේෂණය කරන ලදි.

තානාපති දර්ශන එම් පෙරේරා මහතා ස්වීඩනයේ නිල නිවසක් ද සමඟින් ටැලින් නගරය සඳහා සමගාමී ව අක්ත ගන්වා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ස්වීඩනය

2021 දෙසැම්බර් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close