එම්වී-එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනය පිළිබඳ විදේශීය විශේෂඥයින් දැනුවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් පවත්වයි

එම්වී-එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනය පිළිබඳ විදේශීය විශේෂඥයින් දැනුවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් පවත්වයි

එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා පරිසරයට සිදුවන බලපෑම තක්සේරු කිරීමට ශ්‍රී ලංකා රජයට සහාය වීම සඳහා, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) හරහා යුරෝපා සංගමය (EU) / ECHO (යුරෝපා සංගම් අරමුදල්වල හදිසි අංශය), තාක්ෂණික විශේෂඥයින් තිදෙනෙකුට (03) සහාය ලබා දෙයි. මෙම විශේෂඥයින් අතර, හදිසි අවස්ථා සඳහා යොදවන ලද, තෙල් හා අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය (HNS) පිළිබඳ විශේෂඥයෙකු වන ස්ටෙෆාන් ලෙ ෆ්ලෝච් මහතා, තෙල් හා අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය සහ සමුද්‍ර අපද්‍රව්‍ය පිළිබඳ විශේෂඥතාව සහිත කැමීල් ලා ක්‍රොයික්ස් මහත්මිය සහ තෙල් හා අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය කාන්දු වීමෙන් පසුව ඇතිවන පාරිසරික බලපෑම් තක්සේරු කිරීම පිළිබඳ විශේෂඥ සහ පෙර යෙදවීමේ අත්දැකීම් ද සහිත ලුයිගි ඇල්කරෝ මහතා වෙති.

වර්තමාන භූමි තත්ත්වය සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ නියෝජිතායතන විසින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂඥ කණ්ඩායම දැනුවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය විසින් රැස්වීමක් සංවිධානය කරන ලදි. සාගර කටයුතු , පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති උරුගොඩවත්තේ දිසානායක මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් හැම්ඩි මැතිණිය මෙම රැස්වීමේ මුලසුන හෙබවූහ. සිදුවූ ව්‍යසනය පිළිබඳ හැඳින්වීමක් සමඟ, අදාළ බලය සහිත අදාළ පාර්ශවකරුවන්ගේ නියෝජිතායතනවල වැඩිදුර විස්තර හා යාවත්කාලීන කිරීම් සඳහා පසුබිම සකස් කරමින්, මෙම රැස්වීම ආරම්භ කෙරිණ.

ආපදාවට සම්බන්ධ පාරිසරික හානිවලට අදාළ ආයතනවල බලප්‍රදේශයන් අවබෝධ කර ගැනීම සහ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ නියෝජිතායතන විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශයන් සමඟ මෙම ක්‍රියාවලියට සහාය වීම සඳහා විශේෂඥයින් තිදෙනාට දායක විය හැකි ආකාරය පිළිබඳ මූලික සාකච්ඡා සඳහා මෙම රැස්වීම මඟ සැලසීය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණය, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පිරිසිදුකම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ඒජන්සිය (නාරා), මධ්‍යම පරිසර අධිකාරිය (CEA), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC), වෙළඳ නැව් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA), ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපීය සංගමය සහ ව්‍යසනයෙන් සිදුවන පාරිසරික හානිය තක්සේරු කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පිහිටුවන ලද කණ්ඩායමේ විශේෂඥයින් කිහිප දෙනෙක් සහභාගී වූ පාර්ශ්වකරුවන්ගේ නියෝජිතායතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතරට ඇතුළත් විය.

මෙම විශේෂඥයන් ඉදිරි දිනවල දී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නාරා, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන සමඟ සමීපව කටයුතු කරනු ඇත.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජූනි 18 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close