එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගිතා කාර්යාලයේ කලාපීය අධ්‍යක්ෂවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගිතා කාර්යාලයේ කලාපීය අධ්‍යක්ෂවරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවෙයි

මේ වන විට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගිතා කාර්යාලයේ (UNDCO) ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් මැක්ලාක්ලන්- කාර් මහතා  2022 අගෝස්තු 17 වැනි දින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය.

විශේෂයෙන්ම දුෂ්කර කාලපරිච්ඡේද හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරටට පළ කරන සුහදතාව, සහයෝගය සහ අවබෝධය පැසසූ විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා,  ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පවත්නා හවුල්කාරිත්වය අගය කරන බවද ප්‍රකාශ කළේ ය. ඊයේ දින (08/17) එළිදක්වන ලද, ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන එක්සත් ජාතීන්ගේ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට මගපෙන්වන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව (2023 – 2027), අමාත්‍යවරයාගේ ඇගයුමට ලක්විය. මෙම සහයෝගිතා රාමුව මුදල් අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා රජය සමඟ හවුල්කාරිත්වයෙන් අවසන් කරන ලද අතර, එය “leaving no one behind” යන මූලධර්මය මත පදනම් වේ.

රටේ පවතින නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය හා සමාජ ආරක්ෂණ ක්‍රමය හේතුවෙන් කලාපීය සාමාන්‍යයට වඩා බෙහෙවින් ඉහළ අගයක් සහිත මානව සංවර්ධන දර්ශක අගයක් ශ්‍රී ලංකාව ලබා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව සිය ජනතාවට සෞඛ්‍ය හා අධ්‍යාපනය ලබාදීමේ පුරෝගාමියකු වන බවත්, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා පුළුල් වූ සමාජ ආරක්ෂණ ජාලයක් සැලසීම මඟින් එවැනි පද්ධති වැඩිදියුණු කිරීම සහයෝගීතා රාමුවේ අරමුණ බවට පත්ව ඇති බවත් කලාපීය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවක් සහ සබඳතාවක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරන බවද එතුමා සඳහන් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close