එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය (Heart to Heart International) නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව සහ එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ඇමරිකාවේ සුප්‍රසිද්ධ ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය ඇමරිකානු ඩොලර් 908,547 ක ( රුපියල් 326,077,518.30) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත නොමසුරුව පරිත්‍යාග කළේ ය.

ප්‍රථම ඖෂධ සැපයුම් තොගය, හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් හි වියදමින් සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් 2022 ජූලි 13 වැනි දින ගුවන් මගින් කොළඹට රැගෙන එන ලදි. ශ්‍රී ලංකාවේ ජනතාව වෙත කිසිදු අයකිරීමකින් තොරව කඩිනමින් බෙදාහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ඖෂධ තොගය භාරගනු ලැබේ.

ජාත්‍යන්තර ආධාර සහ ඖෂධ සැපයුම් මෙරටට අත්‍යවශ්‍යව ඇති මෙවැනි මොහොතක, ශ්‍රී ලංකාවට සහය වීම සඳහා හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය විදහා දැක්වූ මෙම අඛණ්ඩ උත්සාහය සහ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ සහ මෙම තානාපති කාර්යාලයේ කෘතඥතාව පළ කර සිටිමු.

කැන්සාස් හි ලෙනෙක්සා හි පිහිටි හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය (HHI) සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම සංවිධානය, එක්සත් ජනපදය ඇතුළු රටවල් 130කට වඩා අධික සංඛ්‍යාවකට ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක වටිනාකමින් යුත් වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. මෙම සංවිධානය වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුලු ගැන්වීම මගින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත් හමුවේ සිය සහය ලබා දෙයි. මෙම සංවිධානය තරු 4 Charity Navigator පුණ්‍යායතනයක් සහ BBB සහතිකය ලත් පුණ්‍යායතනයක් වන අතර 'Philanthropy 400' ට ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් හොඳ සත්කාර ලබා දීම සුරක්ෂිත කිරීමේ අරමුණින් හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකා රජයට වැඩිදුර මානුෂීය ආධාර සැපයීමට බලාපොරොත්තු වේ. මෙම තානාපති කාර්යාලය සහ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් ඉදිරි මාසවලදී තවත් ඖෂධ තොග ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා අඛණ්ඩව කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය                                                                                             හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය

වොෂින්ටන් ඩී. සී.                                                                                                              කැන්සාස්

2022 ජූලි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close