එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ආර්යසිංහ මැතිතුමා සමුගැනීමේ ඇමතුම්හි දී කොවිඩ් අර්බුදයේ දී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් එක්සත් ජනපදයට ස්තූති කරයි

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ආර්යසිංහ මැතිතුමා සමුගැනීමේ ඇමතුම්හි දී කොවිඩ් අර්බුදයේ දී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් එක්සත් ජනපදයට ස්තූති කරයි

එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා, සැප්තැම්බර් 7 දින ජනාධිපතිවරයාගේ විශේෂ සහායක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යේෂ්ඨ අධ්‍යක්ෂ සුමෝනා ගුහා මහත්මිය සමඟ සූම් මාර්ගයෙන් සිදුකළ සමුගැනීමේ ඇමතුමක දී, කොවිඩ් අර්බුදයේ දී විශේෂයෙන් එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය පිළිබඳව එක්සත් ජනපද රජයට ස්තූතිවන්ත විය. එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාවේ බහුවිධ ස්වභාවය පිළිබඳව අවධාරණය කරමින්, විශේෂයෙන් වෙළෙඳ, උපායමාර්ගික ආරක්‍ෂාව සහ ත්‍රස්තවාදය මර්දනය යන ක්ෂේත්‍රයන්හි දී දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවක් පවතින බව තානාපතිවරයා පැවසීය.

එතුමාගේ වොෂිංටන් ඩී.සී. හි ධූර කාලය තුළ දී, ජාතික ආරක්‍ෂක මණ්ඩලය (NSC), රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපදයේ අනෙකුත් දෙපාර්තමේන්තු සහ නියෝජිතායතනවල නිලධාරීන්ගෙන් ලද සහයෝගය තානාපති ආර්යසිංහ මැතිතුමා අගය කළේය.

සැප්තැම්බර් 10 වැනිදා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අර්වින් මැසිංගා මහතා සමඟ සමුගැනීමේ හමුවක දී, මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් වාචිකව යාවත්කාලීන කිරීමට යෙදුණු මානව හිමිකම් කොමිසමට අදාළ කරුණු පිළිබඳව ශ්‍රී ලංකාවේ අදහස් ද තානාපතිවරයා ප්‍රකාශ කළේය. වගවීම සහ ප්‍රතිසංධානය පිළිබඳ ගැටලු විසඳීම සඳහා රජය විසින් සිදුකොට ඇති මුලපිරීම් සහ දේශීය යාන්ත්‍රණයන් පිළිබඳව තානාපතිවරයා මැසිංගා මහතාට කරුණු පැහැදිලි කළ අතර, කලින් පැවති මානව හිමිකම් පිළිබඳ කොමිෂන් සභා සහ කමිටුවලින් යෝජිත මානව හිමිකම් පියවර පිළිබඳ විමර්ශනය කිරීම, කරුණු විමසීම, වාර්තා කිරීම හෝ අවශ්‍ය පියවර ගැනීම සඳහා පිහිටුවන ලද පරීක්ෂණ කොමිෂන් සභාවට අදාළ කටයුතු; ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA); සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, අතුරුදහන්වීම් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වූ කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධ ප්‍රවණතා; මානව හිමිකම් පිළිබඳ ඔවුන්ගේ උනන්දුවක් දකුවන කරුණු සම්බන්ධයෙන් පුළුල් සිවිල් සමාජයක් සමඟ සම්බන්ධ වීම යනාදිය පිළිබඳව විස්තර කළේය.

තානාපතිවරයා විසින් පවත්වාගෙන යනු ලබන අඛණ්ඩ සංවාදය ජනාධිපති විශේෂ සහායකවරිය සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා අගය කළ අතර, සමහර බරපතල ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාවේ දෘෂ්ටිකෝණය අවබෝධ කරගැනීමේ දී එතුමාගේ පෙර අත්දැකීම් විශේෂයෙන් ප්‍රයෝජනවත් වූ බව පැවසීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂිංටන් ඩීසී

2021 සැප්තැම්බර් 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close