එක්සත් ජනපදයේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මැතිනිය විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සබදතා පිළිබඳව සමාලෝචනය කරයි

එක්සත් ජනපදයේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මැතිනිය විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සබදතා පිළිබඳව සමාලෝචනය කරයි

මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජනපදයේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්, තානාපති කෙලී කීඩර්ලින් මැතිනිය 2021 නොවැම්බර් 15 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා හමු වී දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් ආවරණය කරමින් සාකච්ඡා පැවැත්වූවා ය. තානාපති කීඩර්ලින් මැතිනිය 2021 නොවැම්බර් 13-15 යන දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාව වෙත සපැමිණි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනිය විදේශ ලේකම්වරයා විසින් පිළිගනු ලැබී ය.

කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් (MV X-Press Pearl ) ව්‍යසනයේ පාරිසරික හා සමාජ-ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ලබා දුන් අඛණ්ඩ සහය පිළිබඳව විදේශ ලේකම්වරයා එක්සත් ජනපදයේ රජයට සහ ජනතාවට සිය ස්තුතිය පළ කළේ ය. ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම තහනම් කිරීම සහ මුහුදු සීමාවේ සිදු වන අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම පහසු කරවීම සඳහා මෑතක දී  එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට පිරිනමන ලද 'ඩග්ලස් මුන්රෝ' නමැති තුන්වැනි නාවුක යාත්‍රාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද රජය වෙත සිය අවංක ප්‍රසාදය පළ කළේ ය. එමෙන්ම ශ්‍රී ලංකාව ප්‍රතිසන්ධානය, වගවීම, පුනරුත්ථාපනය සහ මානව හිමිකම් යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද එතුමා පැහැදිලි කළේ ය.

එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදය කැඳවීම ඇතුළුව දෙරට අතර දැනට ක්‍රියාත්මක වන ද්විපාර්ශ්වික මුල පිරීම් ආදිය විදේශ ලේකම්වරයා සහ එක්සත් ජනපදයේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරිය විසින් සමාලෝචනය කරන ලදී. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, දේශගුණික විපර්යාස සහ ගෝලීය වසංගතවලට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාවය සහ කාබනික ගොවිතැන වැනි වැදගත් සමකාලීන කරුණු පිළිබඳව ද ඔවුහු සිය අදහස් හුවමාරු කර ගත්හ.

විදේශ අමාත්‍යංශය
කොළඹ

2021 නොවැම්බර් 16 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close