ඊශ්‍රායල ආයෝජන ප්‍රවර්ධනයට සාකචිඡා ඇරඹේ

ඊශ්‍රායල ආයෝජන ප්‍රවර්ධනයට සාකචිඡා ඇරඹේ

ඊශ්‍රායල ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිම හා ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආයෝජන අවස්ථාවන් පිළිබඳ ඊශ්‍රායල- ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ඊශ්‍රායල- ආසියා වාණිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සහයෝගය ඇතිව, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2021 පෙබරවාරි 16 වන දින මෙම වෙබිනාර් සාකචිඡාව සංවිධානය කර තිබිණ. මෙම වැඩසටහනෙහි අරමුණ වූයේ, ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන සඳහා විවෘත අනාගත ක්ෂේත්‍රයන්, ප්‍රධාන ව්‍යාපෘති සහ ව්‍යාපාර පිළිබඳව අපේක්ෂිත ඊශ්‍රායල ආයෝජකයින් හා තොරතුරු බෙදා හදා ගැනීමයි.

ඊශ්‍රායල - ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සභාපතිනි අනත් බර්න්ස්ටයින්-රීච් මහත්මිය එම වෙබිනාර් වැඩසටහන මෙහෙයවූවාය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ, විධායක අධ්‍යක්ෂ (ආයෝජන ප්‍රවර්ධන) ප්‍රසන්ජිත් විජයතිලක මහතා විසින්, ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම සහ ආයෝජන අවස්ථා පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලද අතර, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති වරුණ විල්පාත මහතා, ඊශ්‍රායල - ආසියා වාණිජ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීනී ලිරෝන් උර්මාන් මහත්මිය සහ ඊශ්‍රායල නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂ ඩෑන් කාටාරිවාස් මහතා එහිදී අදහස් දැක්වූහ. ස්වකීය අදහස් දැක්වීම අතරතුර, තානාපති විල්පාත මහතා ශ්‍රී ලංකාවේ අද්විතීය පිහිටීම හා හිතකර ව්‍යාපාරික පරිසරය ප්‍රයෝජනයට ගෙන, ඖෂධ, කෘෂිකාර්මික, ජල කළමනාකරණ, සංචාරක, නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ, අධි-තාක්ෂණික හා ග්‍රැපීන් යන ක්ෂේත්‍රයන්හි සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හා කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය ඇතුළු සුවිශාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන්හි ආයෝජන සිදු කරන ලෙස, ඊශ්‍රායල ආයෝජකයින්ට ආරාධනා කළේය.

කෙන්ග්ලොබ් ලංකා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, ෂ්මුවෙල් කෙනිග්ස්බර්ග් මහතාද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු පිළිබඳ තම අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා මෙම වෙබිනාර් වැඩසටහනට සම්බන්ධ වූ අතර, ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමෙන් අත්වන ප්‍රතිලාභ හා වාසි පිළිබඳව වැඩසටහනට එක්ව සිටි පිරිසට ඔහු කෙටියෙන් විස්තර කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ටෙල් අවිව්

2021 පෙබරවාරි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close