ඉන්දුනීසියාව ටොන් 3.1ක මානුෂීය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

ඉන්දුනීසියාව ටොන් 3.1ක මානුෂීය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 අප්‍රේල් 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඉන්දුනීසියාවේ තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මැතිනිය හමුවිය. තානාපතිනිය එහිදී ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය ආධාර සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා යාවත්කාලීන කළා ය.

අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු කළ ඉල්ලීමකට අනුව ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඉන්දුනීසියානු නියෝජිත කාර්යාලය සමඟ සාකච්ඡා කර, ශ්‍රී ලංකා රුපියල් මිලියන 517.5 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.6) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සමන්විත ටොන් 3.1 ක මානුෂීය ආධාර තොගයක් ශ්‍රී ලංකාවට සැපයීම සඳහා ඉන්දුනීසියාවේ සෞඛ්‍ය නිලධාරීන් සහ ඉන්දුනීසියාවේ ඖෂධ කර්මාන්තය සමඟ එක්ව කටයුතු කළ බව තානාපති ටොබින්ග් මැතිනිය  විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ විස්තර කළා ය. මෙම මානුෂීය ආධාර තොගය කාණ්ඩ දෙකක් යටතේ ශ්‍රී ලංකාවට ළඟා වන බවත්, පළමු කාණ්ඩය 2022 අප්‍රේල් 28 වැනි බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් ජකර්තා සිට ප්‍රවාහනය කෙරෙන  බවත් තානාපතිනිය සඳහන් කළා ය. ඉතිරි තොගය 2022 මැයි 8 වැනි ඉරිදා දින මෙරටට ගෙන එනු ලැබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු කළ ඉල්ලීමට අනුව, දින දහයක් ඇතුළත මෙම ආධාර තොගය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඉන්දුනීසියානු නිලධාරීන් සහ ඖෂධ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය එක්ව පරිත්‍යාග කළ බව තානාපතිනිය අමාත්‍යවරයාට දන්වා සිටියේ ය. දෙරට අතර පවත්නා දිගුකාලීන සමීප මිත්‍රත්වය සැලකිල්ලට ගනිමින්, අත්‍යවශ්‍ය මොහොතේ දී  ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට අවස්ථාවක් උදාවීම සම්බන්ධයෙන් ඔවුන් සතුටට පත්වන බවද එතුමිය සඳහන් කළා ය.

ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාව වෙත නොමසුරුව පිරිනැමූ  මානුෂීය ආධාර තොගය ශ්‍රී ලංකා රජය දැඩි ලෙස අගය කරන බව විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා තානාපතිනිය වෙත දැනුම් දුන් අතර, එමගින් දෙරට අතර පවතින මිත්‍රත්වයේ සමීප සබඳතාව පැහැදිලි ලෙස විදහා දැක්වෙන බවද අවධාරණය කළේ ය. ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සමීප සබඳතා සහ ජාත්‍යන්තර තලයේ සාගර ගැටළු සහ ක්‍රියාවලීන්හි  සහයෝගීතාව මෙන්ම, ගෝලීය වේදිකාවේ ගැටළු විෂයානුබද්ධ ලෙස විසඳීම සඳහා නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ සමීපව කටයුතු කිරීම පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය. ඉන්දුනීසියාවේ ගරු විදේශ අමාත්‍ය රෙට්නෝ මර්සුඩි මැතිතුමා සමඟ පැවති සමීප සබඳතා පිළිබඳව සිහිපත් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා,  එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අතරතුර දී එතුමා හමු වූ බවත්,  මෑතක දී කටාර් හි දෝහා සංසදය අතරතුර දී එතුමා හමු වී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ බවත් සඳහන් කළේ ය. ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 70 වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සංවත්සරය සැමරීම සඳහා මෙම වසර අග තම ඉන්දුනීසියානු මිත්‍ර පාර්ශ්වයට ඇරයුම් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අප්‍රේල් 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close