ඉන්දීය ජනාධිපතිනි අතිගරු ද්‍රෞපදී මුර්මු මහත්මිය විසින් පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා විසින් කරනු ලබන කතාව

ඉන්දීය ජනාධිපතිනි අතිගරු ද්‍රෞපදී මුර්මු මහත්මිය විසින් පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයේදී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතා විසින් කරනු ලබන කතාව

ඉන්දීය ජනරජයේ ජනාධිපතිනි, අතිගරු ද්‍රෞපදි මුර්මු මැතිනියනි,

ඉන්දීය ජනරජයේ අග්‍රාමාත්‍ය, අතිගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමනි,

ගරු අමාත්‍යවරුනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි.

ආයුබෝවන්, වනක්කම්, නමස්තේ, සුබ සන්ධ්‍යාවක් වේවා! ,

ජනාධිපතිතුමියනි, ඔබතුමියගේ කාරුණික වදන් මා සිත ගැඹුරින් ස්පර්ශ කළා.

ඔබේ රට තුළදී මගේ නියෝජිත පිරිසට සහ මට දක්වන ලද කාරුණික ආගන්තුක සත්කාරය පිළිබඳව ඔබටත් ඉන්දීය රජයටත්, ජනතාවටත් මාගේ අවංක ස්තුතිය පුද කරනවා. මෙම අවස්ථාවේදී, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපගේ ඉන්දියානු මිතුරන්ට උණුසුම් සුබ පැතුම් එක්කරන්නට මා කැමතියි.

අතිගරු ජනාධිපතිතුමියනි,

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බැඳීම් රාජ්‍යතාන්ත්‍රිකත්වය සහ භූගෝලීය සමීපත්වය ඉක්මවා යනවා. අපගේ සම්බන්ධතාව ශිෂ්ටාචාරමය වශයෙන් බැඳී තිබෙන අතර අන්‍යොන්‍ය ගෞරවය, සහයෝගීතාව සහ බෙදා හදාගත් අනාගතය මඟින් නිර්වචනය වනවා. ඉන්දියානු සාගර වෙරළෙහි සිට උප මහද්වීපයේ කේන්ද්‍රය දක්වා, අප දෙරටෙහි ශක්තිමත් සබඳතාවලට ආවේණික වූ සම්ප්‍රදායන්, සාරධර්ම සහ අනාගතය උදෙසා වූ දැක්මක පවා පොදු උරුමයකින් අපි බැඳී සිටිනවා. එබැවින්, මගේ පළමු රාජ්‍ය සංචාරය ඉන්දියාව වෙත සිදු කිරීම නිරායාසාත්මක යි.

යුග ගණනක් පැරැණි මෙම සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මගේ රජය කැපවී සිටිනවා. මගේ රට ආර්ථික ප්‍රකෘතිය, වර්ධනය සහ ස්ථාවරත්වය කරා යන ගමනේදී ඉන්දියාව, විශ්වාසවන්ත මිතුරෙකු, ස්ථීර හවුල්කරුවෙකු ලෙස මෙන්ම අපගේ සමීපතම අසල්වැසියා ලෙස  ඔවුන්ගේ නොමඳ සහයෝගය අප වෙත දක්වා තිබෙනවා. අපට සහය අවශ්‍ය කළ අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය සහ දක්වන නොසැලෙන සහයෝගීතාව අප බෙහෙවින් අගය කරනවා.

ශ්‍රී ලංකාව නව යුගයක අභියස සිටින මෙම මොහොතේ, රටෙහි ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, පුද්ගල-පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ කලාපීය හා ගෝලීය සහයෝගිතාව අභිවර්ධනය කිරීම වැදගත් වනවා. අනාගතය සුවිසල් ශක්‍යතාවන්වලින් සමන්විතයි. ඉන්දියානු සාගර කලාපයේ සාමය, ස්ථාවරත්වය, ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය සහතික කිරීමෙහිලා අප දෙරටෙහි භූමිකාව අතිශය වැදගත් එකක්.

අපගේ හවුල්කාරිත්වයේ ශක්තිය රඳා පවතින්නේ සාමූහික ක්‍රියාකාරිත්වය මතයි. පාරිසරික ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමේදී හෝ වේවා, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී හෝ වේවා, ගෝලීය වශයෙන් සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ ලබා දෙන ආර්ථික වර්ධනය සහතික කිරීමේදී හෝ වේවා, දේශසීමා අතික්‍රමණය කරන නව සහ පරිණාමය වන අභියෝගවලට අපට මුහුණ දිය හැක්කේ සහයෝගි ප්‍රයත්නයන් මඟින් පමණයි. අන්තර් සබඳතා සහ එකිනෙකා මත යැපෙන ලොවක් තුළ අනාගත පරපුර උදෙසා විසි එක්වැනි සියවසේ අවස්ථා උදාකර ගැනීම පිණිස ශ්‍රී ලංකාව ගෝලීය දකුණේ ප්‍රමුඛතම රාජ්‍යයක් වශයෙන් ඉන්දියාව සමඟ වඩාත් පුළුල් සහයෝගිතාවක් ගොඩනඟා ගැනීම උදෙසා කැපවී සිටිනවා.

අතිගරු ජනාධිපතිතුමියනි,

මේ සන්ධ්‍යාව, සාමය සහ ප්‍රගතිය ළඟා කරගැනීමේ ප්‍රයත්නයේදී අප එකිනෙකා වෙත සමීප කරවමින්, කාලයේ පරීක්ෂණය සමත්වූ බැඳීමක් වන අප දෙරට අතර පවතින චිරස්ථායී මිත්‍රත්වය සමරන සන්ධ්‍යාවක් වේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා.

ශ්‍රී ලංකාව වෙත ලබාදෙන නොසැලෙන සහයෝගීතාව සහ මිත්‍රත්වය වෙනුවෙන් මා ඉන්දියානු රජයටත්, ජනතාවටත් මගේ හෘදයංගම ස්තුතිය පුදකර සිටිනවා. අප අතර ඇති සහයෝගිතාව තව තවත් ශක්තිමත් වනු ඇතැයි යන්නත්, අප එක්ව යන ඉදිරි ගමන අපගේ රටවල්වලට සහ සමස්ත කලාපයටම සෞභාග්‍යය රැගෙන එනු ඇතැයි යන්නත් මගේ පැතුමයි.

ස්තුතියි.

 

Please follow and like us:

Close