ආර්ථිකය හා සබැඳි වත්මන් අභියෝග සහ විදෙස් රටවල පිහිටි සියලුම දූත මණ්ඩල හරහා ඊට විසඳුම් සෙවීම පිළිබඳව පැවැත්වූ වෙබිනාර් සාකච්ඡාවේ මුලසුන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් හොබවනු ලැබේ

ආර්ථිකය හා සබැඳි වත්මන් අභියෝග සහ විදෙස් රටවල පිහිටි සියලුම දූත මණ්ඩල හරහා ඊට විසඳුම් සෙවීම පිළිබඳව පැවැත්වූ වෙබිනාර් සාකච්ඡාවේ මුලසුන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් හොබවනු ලැබේ

ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අභියෝග සහ විදෙස් රටවල පිහිටි දූත මණ්ඩල මගින් ඊට විසඳුම් සෙවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ගරු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දාල් වීරසිංහ මහතා සහ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය මෙන්ම සියලුම විදෙස් දූත මණ්ඩලවල ප්‍රධානීහු අද දින වෙබිනාර් සාකච්ඡාවකට සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේ මුලසුන දැරූ ගරු අමාත්‍යවරයා,  ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ රජය මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කළ අතර, සියලුම විදෙස් දූත මණ්ඩලවල ප්‍රධානතම කර්තව්‍ය විය යුත්තේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු ප්‍රවර්ධනය කිරීම බවත්, එ් සඳහා ආයෝජන, වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මුල් වූ පුළුල් ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත් සඳහන් කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඉදිරි ගමන මෙන්ම, මේ සම්බන්ධයෙන් විදෙස් රටවල පිහිටි දූත මණ්ඩලවලට සිය මුලපිරීම් අඛණ්ඩව  ප්‍රවර්ධනය කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කළේ ය.

අද දින පැවති මෙම හමුව, විදෙස් රටවල පිහිටි දූත මණ්ඩල යෝජනා කොට ඇති ආර්ථික රාජ්‍යතාන්ත්‍රික මුලපිරීම් සම්බන්ධයෙන් මහ බැංකුව මෙන්ම මුදල් අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර සංවාදයක් ඇති කිරීම සඳහා ගත් පියවරක් බව විදේශ කටයුතු ලේකම්වරිය සඳහන් කළා ය.

මෙහිදී කොළඹ සිටි නිලධාරී මණ්ඩලය සහ සියලුම විදෙස් දූත මණ්ඩල ප්‍රධානීන් අතර පුළුල් හා ඵලදායී අදහස් හුවමාරුවක් සිදු විය.

ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා විදෙස් රටවල පිහිටි දූත මණ්ඩල විසින් ගනු ලැබූ සියලු උත්සාහයන් සහ ක්‍රියාමාර්ග අගය කළ විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා, ඵලදායී යෝජනා කිහිපයක් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අතර සංවාද පැවැත්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව පහසුකම් සැලසීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close