අමාත්‍ය සී.බී. රත්නායක මැතිතුමා කෙන්යාවේ ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කරයි

අමාත්‍ය සී.බී. රත්නායක මැතිතුමා කෙන්යාවේ ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කරයි

කෙන්යාවේ පෞද්ගලික සංචාරයක නිරත වන සී.බී. රත්නායක අමාත්‍යවරයා 2021 සැප්තැම්බර් 14 වැනි දින කෙන්යාවේ වනජීවී හා සංචාරක අමාත්‍ය නජීබ් බලාලා මැතිතුමා හමුවිය. රත්නායක අමාත්‍යවරයා සමඟ කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේළුපිල්ලේ කනනාදන් මැතිතුමා ද මේ සඳහා සහභාගී විය.

අමාත්‍ය බලාලා මැතිතුමා ශ්‍රී ලංකා අමාත්‍යවරයා පිළිගනිමින්, වනජීවීන් හා වන සම්පත් සම්බන්ධයෙන් මෙන්ම, ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරය වැනි ආර්ථික ක්‍රියාකාරකම් තුළින් එම සම්පත් අලෙවි කිරීමේ ජාතික උපාය මාර්ග  සම්බන්ධයෙන් ද දෙරට අතර බොහෝ සමානකම් ඇති බව එතුමා පැවසීය. දේශීය හා ජාත්‍යන්තර භාවිතයන් හා නීති වලට අනුකූලව ලංකාවේ වනජීවීන් හා වන සම්පත් සංරක්ෂණය කිරීම තම අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව පැහැදිලි කළ රත්නායක අමාත්‍යවරයා, වනජීවීන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන ආකර්ෂණයන්ගෙන් එකක් වන බව ද පැවසීය. අමාත්‍ය රත්නායක මැතිතුමා කෙන්යාවේ වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණය තුළින් ජෛව විවිධත්වය සාර්ථකව පෝෂණය කිරීම අගය කළ අතර, ද්විපාර්ශ්වික වැඩ සටහනක් යටතේ එම ක්ෂේත්‍ර පිළිබඳ කෙන්යාවේ පළපුරුද්ද හා දැනුම තුළින් ශ්‍රී ලංකාවට ප්‍රයෝජන ලබා ගත හැකි යැයි අපේක්ෂාව පළ කළේය. ඊට යහපත් ලෙස ප්‍රතිචාර දක්වමින් කෙන්යානු අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වනජීවීන්ගේ ස්වාභාවික පරිසරය සංරක්ෂණය කිරීමේ වැඩසටහන හා පළපුරුද්ද තුළින් කෙන්යාවට ද ප්‍රයෝජන ලබා ගත හැකි බවයි.

එකිනෙකා සමඟ බෙදා හදා ගත හැකි ප්‍රවීණතා මට්ටම අනුව, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ කෙන්යාවේ වනජීවී සංරක්‍ෂණය හා කළමනාකරණය පිළිබඳ ධාරිතා වර්‍ධනය පිළිබඳ ද්විපාර්ශ්වික ක්‍රියාකාරකම් සිදුකිරීමට අමාත්‍ය රත්නායක මැතිතුමා යෝජනා කළේය. කෙන්යාව සමඟ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව සතුටු වන සමහර ක්ෂේත්‍ර ලෙස, වනජීවී නිලධාරීන් පුහුණු කිරීම, වනජීවී උද්‍යාන කළමනාකරණය, තාක්‍ෂණ හුවමාරුව, වනජීවී සෞඛ්‍ය සේවා, අලි මිනිස් ගැටුම විසඳීම සඳහා පියවර ගැනීම, සත්ත්ව වාසස්ථාන වැඩිදියුණු කිරීම යනාදිය වැනි ක්‍රියාකාරකම් පිළිබඳව ශ්‍රී ලාංකික අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කළේය. කෙන්යානු අමාත්‍යවරයා පිළිතුරු දෙමින්, කෙන්යාවේ වනජීවී සංචාරක ව්‍යාපාරය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම, කෙන්යාවේ ශ්‍රී ලංකා වනජීවී නිලධාරීන් සඳහා පුහුණුවීම් ලබා දීම, ශ්‍රී ලංකාවේ වනජීවී පුහුණු ආයතනයක් පිහිටුවීම සඳහා සහ අවශ්‍ය පරිදි වෙනත් වනජීවී ක්ෂේත්‍රයන්හි  සහාය ලබා දීම පිළිබඳව කෙන්යාවට සලකා බැලිය හැකි බව පැවසීය. දෙරටේ අදාළ සත්වෝද්‍යාන සඳහා සතුන් හුවමාරු කර ගැනීමේ හැකියාව පිළිබඳව ද අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළහ.

මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා දෙරට අතර දශක පහක් තිස්සේ පැවති රාජ්‍යතාන්ත්‍රික සබඳතා වසර ගණනාවක් පුරා සහයෝගිතාවයේ බොහෝ අංශ දක්වා පුළුල් වී ඇති බව පැවසූ අතර, වනජීවී සංරක්‍ෂණ ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාවය තුළින් ජයග්‍රාහී වාතාවරණයක් ඇති වන බවට යෝජනා කළේය. මහකොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ, වනජීවී ක්ෂේත්‍රයේ තාක්‍ෂණික සහයෝගිතාව, සංචාරක කටයුතු ප්‍රවර්ධනය, වෙළෙඳාම, මිනිසුන් අතර සබඳතා හා පොදුවේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන්හි ධාරිතා වර්ධනය ඇතුළු සහයෝගිතා අවස්ථා රාශියක් නිර්මාණය කිරීම සඳහා, නයිරෝබි සහ කොළඹ යන නගර දෙක අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඍජු ගුවන් සම්බන්ධතාවයන් උපරිම ලෙස භාවිතා කළ යුතු බවයි.

ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්‍ධනය කිරීමේ වැදගත්කම අමාත්‍ය සී.බී. රත්නායක මැතිතුමා කෙන්යානු අමාත්‍යවරයාට අවධාරණය කළේය. තවද, දෙරට අතර සතුන් හුවමාරු කිරීමේ වැඩ සටහන්, අධික සත්ත්ව ගහණය පාලනය කිරීම, සත්ත්ව රෝහල් පහසුකම් සහ සත්ත්ව නියාමකයින් පුහුණු කිරීම පිළිබඳ දෙරටේ අත්දැකීම් අමාත්‍යවරුන් දෙදෙන සාකච්ඡා කරමින් හුවමාරු කර ගත්හ.

මේ සම්බන්ධයෙන්, සංචාරක ව්‍යාපාරය සහ වනජීවී සංවර්ධනය සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට අමාත්‍යවරුන් දෙදෙනාම තීරණය කළහ. ප්‍රායෝගික හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ද්විපාර්ශ්වික සහයෝගිතාවක් ඇති කර ගැනීම සඳහා, ඔවුන්ගේ සංවාදය දිගටම පවත්වාගෙන යාමට අමාත්‍යවරු එකඟ වූහ.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය

නයිරෝබි

2021 සැප්තැම්බර් 15 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close