අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය ජයශංකර් මැතිතුමා සහ අමාත්‍ය සීතාරාමන් මැතිනිය ඇ.ඩො.බි. 1 ක ඉන්දු - ලංකා ණය ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා සහභාගී වෙයි

අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය ජයශංකර් මැතිතුමා සහ අමාත්‍ය සීතාරාමන් මැතිනිය ඇ.ඩො.බි. 1 ක ඉන්දු – ලංකා ණය ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා සහභාගී වෙයි

නවදිල්ලි නුවර තුළ සිය දෙදින නිල සංචාරය නිම කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා,ඉන්දීය රාජ්‍ය බැංකුව හරහාඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජය වෙත ලබා දුන් ඇ.ඩො. බිලියන 1 ක කෙටි කාලීන සහනදායී ණය පහසුකමට අදාළ ගිවිසුම සඳහා අත්සන් තැබීමේ අවස්ථාව සඳහා 17 දින සහභාගී විය.

පසුගිය වසරේ දෙසැම්බර් මස අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා සිදු කළ ඉන්දීය සංචාරය අතරතුර දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එකඟ වූ කුළුණු හතරකින් යුත් ආර්ථික සහයෝගීතා වැඩපිළිවෙල සකස් කිරීම සඳහා දායක වූ ප්‍රධාන සංරචකයක් වන මෙම ඇ.ඩො.බි. 1 ක ණය පහසුකම, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රසම්පාදනය සඳහා ශ්‍රී ලංකා රජය වෙත පිරිනමන ලදි.

මාර්තු 17 දින  නවදිල්ලි නුවර පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මැතිතුමා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මැතිනිය ඉදිරිපිට මෙම අත්සන් තැබීමේ උත්සවය පවත්වන ලදි. මෙම අවස්ථාවට ඉන්දීය රාජ්‍ය බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රී අශ්විනි කුමාර් තිවාරි සහ එම බැංකුවේ සාමාන්‍යාධිකාරී ශ්‍රී විනෝද් කුමාර් යන මහත්වරු ද සහභාගී වූහ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, ඉන්දීය රාජ්‍ය බැංකුව වෙනුවෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍රී පුෂ්කර් ජා මහතා අත්සන් තැබී ය.

අත්සන් තැබීමේ උත්සවයට පෙර, උතුරු ගොඩනැගිල්ලේ පිහිටි මුදල් අමාත්‍යාංශයේ දී,ඉන්දීය මුදල් අමාත්‍යවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා පිළිගන්නා ලදි.

මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් දෙරට අතර කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන ආර්ථික සහයෝගීතාව සඳහා රාමුවක් සැකසීමට ද දෙපාර්ශ්වය සිය එකඟත්වය පළ කළහ.

අමාත්‍යවරුන් තිදෙනා, මෙම අරමුණ සහිතව, නිරන්තරයෙන් සබඳතා පැවැත්වීම සඳහා එකඟ වූ අතර, අඛණ්ඩ සංවාදයක් පැවැත්වීම සඳහා දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ද ස්ථාපිත කළහ.

මෙම හමුව සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා යනාදීහු ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සමඟ සහභාගී වූහ.

මෙම හමුවට පෙර, ඉන්දියාවේ බලශක්ති සහ නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් සිං මැතිතුමා හමු වූ අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා,  බලශක්ති සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍ර හා සබැඳි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමේ සහ පුළුල් කිරීමේ ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය. ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය ඒ.නාගේස්වරන් මහතා ද මුදල් අමාත්‍ය රාජපක්ෂ මැතිතුමා හමුවිය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 මාර්තු 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close