අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සමඟ නත්තල සහ නව වසර සමරයි

අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සමඟ නත්තල සහ නව වසර සමරයි

අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් 2021 දෙසැම්බර් 29 වැනි දින අන්කාරා හි ඉන්සෙක් නුවර පිහිටි “ඔටිසම් පදනම පාසලේ” ළමුන් සමඟ නත්තල සහ නව වසර සමරන ලදි. තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා සිය පවුලේ සාමාජිකයන් සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව, අධ්‍යාපනය පමණක් නොව විශේෂ අවශ්‍යතා සහිත ළමුන්ගේ ජීවිත ආලෝකමත් කරන ක්‍රීඩා සහ වෘත්තීය පුහුණු වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් ද පිරිනමන විශේෂ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වන ඔටිසම් පදනම පාසල තුළ චාරිකාවක නිරත විය.

මෙම පාසලේ ළමුන්, දෙමාපියන් සහ පාසල් කළමනාකාරිත්වය සමඟ කෙටි සංවාදයක නිරත වූ තානාපති රිස්වි හසන් මැතිතුමා ළමුන් සමඟ කාලය ගත කිරීමට සහ ඔවුන්ගේ ඉදිරිපත් කිරීම් නැරඹීමට දූත මණ්ඩලයට අවස්ථාවක් සැලසීම පිළිබඳව පාසල් කළමනාකාරිත්වයට සිය ස්තුතිය පුද කළේ ය. තවද නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කළ තානාපතිවරයා මෙම උත්සවයට සහභාගී වූ සැමට ද සිය ස්තුතිය පුද කළේ ය.

ඔටිසම් පදනමේ සභාපතිවරයා වන අයිඩින් කයාන් මහතා ඔටිසම් රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර නත්තල සහ අලුත් අවුරුද්ද සැමරීමට තම ආයතනය තෝරා ගැනීම පිළිබඳව තානාපතිවරයාට සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පුද කළේ ය.

තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම උත්සවය අතරතුර දී අන්කාරා හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ එක්ව ළමුන් ඉදිරිපත් කළ නත්තල් කැරොල් ගායනයකට සහභාගී විය. ඉන් අනතුරුව පැමිණ සිටි පිරිස වෙනුවෙන් ළමුන් විසින් සිත් ඇදගන්නාසුළු සංගීත හා ක්‍රීඩා ඉසව් ඉදිරිපත් කරන ලදි. තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ අන්කාරා හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් ලබා දුන් දායකත්වය ඔස්සේ ළමුන් සඳහා තිළිණ ප්‍රදානය කරන ලදි. රැස්ව සිටි පිරිසට ශ්‍රී ලංකාවේ ප්‍රණීත ආහාර සහ සුපිරිසිදු ලංකා තේ රසවිඳීමට අවස්ථාව හිමි විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2022 ජනවාරි 03 වැනි දින

                                                    

Print Friendly, PDF & Email
Please follow and like us:

Close