මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදා ගෙන මෙරටට ගෙන්වා ගැනේ

මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවලින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදා ගෙන මෙරටට ගෙන්වා ගැනේ

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, මියන්මාරයේ සහ තායිලන්තයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සමීප සම්බන්ධීකරණයෙන් සහ මියන්මාර සහ තායිලන්ත රජයන්හි සහයෝගයෙන්, මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන විසින් මිනිස්  ජාවාරම් කරනු ලැබ බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු මුදා ගැනීමට සාර්ථකව පහසුකම් සැලසීය. මුදා ගනු ලැබූ මිනිස් ජාවාරමට හසුවූ අය 2025 මැයි 07 වැනි දින ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට නියමිතය.

මෙම මුදා ගැනීම සිදුවූයේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් සිදු කරන ලද අඛණ්ඩ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමකින් පසුවය.

මෙම ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීමට සහ ආරක්ෂිතව සියරට ගෙන්වා ගැනීමට මියන්මාර සහ තායිලන්ත රජයන් දැක්වූ ඉමහත් සහයෝගයට අමාත්‍යාංශය සිය අවංක කෘතඥතාව පළ කරයි. ජාත්‍යන්තර ගුවන් ගමන් සහ අභ්‍යන්තර ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා තායිලන්තයේ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය දක්වන දායකත්වය මෙන්ම, ක්‍රියාවලිය පුරාම මියන්මාරයේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසින් සපයන ලද සුභසාධන සහයෝගය සඳහා අමාත්‍යාංශය කෘතඥතාව පළ කරයි.

විදේශ රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කිරීමේදී මිනිස් ජාවාරම් ක්‍රම පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස අමාත්‍යාංශය මහජනතාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. විදේශ රැකියා අවස්ථා ලබා ගැනීමට පෙර රජය විසින් අනුමත කරන ලද ක්‍රියා පටිපාටි තරයේ පිළිපදින ලෙසත්, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධීකරණය කොට රැකියා අවස්ථා සත්‍යාපනය කර ගන්නා ලෙසත් ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දෙනු ලැබේ.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

2025 මැයි 07 වැනි දින

 

 

Please follow and like us:

Close