නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ගරු වින්ස්ටන් පීටර්ස් මැතිතුමනි,
නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සම්භාවනීය නියෝජිතවරුනි,
මාධ්‍ය සගයිනි,
ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් සමඟ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා පිළිගැනීමට ලැබීම සැබවින්ම ගෞරවයක් සහ ඉමහත් සතුටට කරුණක් වේ.
2021 වසරේ කොළඹදී නවසීලන්ත නේවාසික රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලයක් පිහිටුවීමෙන් පසුව සහ මෙම වසර මුලදී වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීමෙන් පසුව මෑත කාලයේදී නවසීලන්තයෙන් මෙරටට සිදුවූ ඉහළම නිලධාරී මට්ටමේ සංචාරය ලෙස මෙය සනිටුහන් කළ හැකියි.
මෙම සංචාරය අප දෙරට අතර වර්ධනය වන හවුල්කාරිත්වයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් වේ.
අපගේ සබඳතා ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට අපගේ රටවල් සමීපව කටයුතු කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා-නවසීලන්ත ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් තහවුරු වී ඇති බවත් සඳහන් කිරීමට ලැබීම පිළිබඳව මම සතුටට පත් වෙමි.
අනාගතයේදී අපගේ සබඳතා ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදුනු, බහුවිධ හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා නවසීලන්තය සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.
මාධ්‍ය සගයිනි,
අද දින අමාත්‍ය පීටර්ස් මහතා සහ මම පුළුල් පරාසයක විහිදුනු ඵලදායී සාකච්ඡා පැවැත්වූ අතර, එහිදී ප්‍රධාන වශයෙන් වෙළෙඳාම සහ ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල අපගේ අරමුණු ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු කරන ලදී. මෙතෙක් පැවති සාකච්ඡා සඳහා අපගේ ප්‍රතිචාරය ඉතා යහපත් වූ අතර, නවසීලන්තය සමඟ වෙළෙඳ හා ආර්ථික සංවාදයක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කිරීම පිළිබඳව කතිකා කරමින්, එමඟින් බහු ආංශික සහයෝගිතාව විධිමත් කිරීමට සහ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සඳහා සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වේ.
කිරි නිෂ්පාදන, සැකසූ ආහාර සහ නැවුම් නිෂ්පාදන වැනි ඉහළ සාර්ථකත්වයක් පවතින අංශවල වෙළෙඳ සබඳතා පුළුල් කිරීම පිළිබඳව ද අපි ගවේෂණය කළ අතර, ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා නවසීලන්ත වෙළෙඳපල ප්‍රවේශ අවස්ථා වැඩි දියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කළහ.
කිරි නිෂ්පාදන විශිෂ්ටතා පුහුණු මුලපිරීම (DETI) වැනි මුලපිරීම් ඇතුළුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය උදෙසා නවසීලන්තය දක්වන දිගුකාලීන සහයෝගය ග්‍රාමීය ජීවනෝපායන් කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇති කර තිබේ. කිරි නිෂ්පාදන අංශයේ මෙම වටිනා හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ පුළුල් කිරීමට අප එකඟත්වය පළ කර ඇත.
සංචාරක ක්ෂේත්‍රයේ පවතින ප්‍රයෝජනයට නොගත් හැකියාවන් අප හඳුනා ගත් අතර ඒකාබද්ධ ප්‍රවර්ධන සහ ආයෝජන සලකා බැලීමට එකඟත්වය පළ කරන ලදී. එසේම, සංචාරක ව්‍යාපාරය සහ ජනතාව- ජනතාව අතර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා තවදුරටත් ගත හැකි පියවරයන් ද අප හඳුනා ගන්නා ලදී.
අධ්‍යාපනය, සමාජ සහජීවනය, ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව යන අංශ ගණනාවකින් නවසීලන්තය විසින් ලබාදෙන අත්‍යවශ්‍ය සංවර්ධන සහාය අප පිළිගන්නා ලදී. තරුණයින් සඳහා කර්මාන්ත පදනම් කරගත් කුසලතා සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් වෘත්තීය පුහුණු සහයෝගිතාව පුළුල් කිරීමට අප දැඩි උනන්දුවක් පළ කර ඇත.
නවසීලන්තයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 1,200කට අධික සංඛ්‍යාවක් පිළිබඳ අවධානය යොමු කරමින්, ශක්තිමත් අධ්‍යාපනික සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සහ අධ්‍යයන හා ආයතනික හවුල්කාරිත්වයන් වැඩි දියුණු කිරීමට අප දක්වන උනන්දුව නැවත අවධාරණය කළෙමු.
මාධ්‍ය සගයිනි,
සංක්‍රමණ පාලනය පිළිබඳ සහයෝගිතාවය, විශේෂයෙන් මඩකලපුවේ සංක්‍රමණික තොරතුරු මධ්‍යස්ථානය අපි අගය කළ අතර, ආරක්ෂිත සහ ක්‍රමවත් සංක්‍රමණ මාර්ග සඳහා අඛණ්ඩ සහයෝගිතාවක් අපේක්ෂා කරන්නෙමු.
ආයතනික අවංකභාවය ශක්තිමත් කිරීම ජාතික ප්‍රමුඛතාවක් වේ. ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) සහ නවසීලන්තයේ දූෂණ විරෝධී නියෝජිතායතන අතර සෘජු සහයෝගිතාවක් ඇති කර ගැනීමට අප කැමැත්ත පළ කරන ලදී.
නවසීලන්තයේ වෙසෙන විදේශගත ශ්‍රී ලාංකිකයන් 23,000කට අධික සංඛ්‍යාවකගේ වටිනා දායකත්වය සහ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේදී ඔවුන් ඉටු කරන ධනාත්මක කාර්යභාරය අපගේ සාකච්ඡා මගින් හඳුනා ගනු ලැබූහ.
ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩාවේ තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු අවස්ථා සහ විශේෂයෙන් මූල්‍ය කළමනාකරණය, ව්‍යවසායකත්වය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි අවධානය යොමු කරන ලද කාන්තා සවිබල ගැන්වීම සඳහා වන වැඩසටහන් ඇතුළුව පුළුල් ක්‍රීඩා සහයෝගීතාවක් කෙරෙහි අප අවධානය යොමු කළහ.
අද පැවති සාකච්ඡා තුළින් ශ්‍රී ලංකා-නවසීලන්ත හවුල්කාරිත්වයේ ගැඹුරු සහ විවිධ බව යළිත් තහවුරු කරන ලද අතර, සියලු ක්ෂේත්‍ර හරහා විහිදුණු අපගේ සහයෝගිතාව ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටිමු.
ශ්‍රී ලංකාව නවසීලන්තය සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය අගය කරන අතර, බෙදාගත් වටිනාකම් ප්‍රවර්ධනය කිරීම, කලාපීය සහයෝගිතාව වැඩි දියුණු කිරීම සහ සාමකාමී, නීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා සමීපව, ද්විපාර්ශ්විකව, කලාපීයව සහ බහුපාර්ශ්විකව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙම සංචාරයට එක් වූ එතුමාගේ දූත පිරිසගේ ඵලදායී සම්බන්ධතාවය සහ මිත්‍රත්වය වෙනුවෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙමි. අපගේ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට සහ එමඟින් දෙරටේ ජනතාවට ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල උදා කරලීමට නවසීලන්තය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ.
ස්තූතියි.
මා දැන් අමාත්‍ය පීටර්ස් මහතාට අවස්ථාව ලබා දෙනවා.
2025 මැයි 26 වැනි දින